Monday, July 28, 2014

මහ මග රඟ මඬල - Amda

 මධු සමය ගෙවී ගියේ ය.
මනාලයා මනාලිය කැටුව සිය නිවෙසට එමින් සිටියේ ය.
අතරමගදී ඔවුනට මනාලියගේ පාර්ශ්වයේ නෑ පිරිස ද එකතු වූහ. මනාලයා ගේ නිවෙස පෙනෙන මානයේ රිය පෙරහර නැවතිණ.
වෙඩි වැල් පිපිරෙන්නට වූයේ ය.
නෑසියෝ වාහනවලින් බැස පෙළ ගැසුණහ. මනාල යුවළ ද ඔවුන් පෙරටුව ආහ.
‘එහෙනං සේරම හරි නේද? දැං යං!’
වැඩිහිටි ඥාතියා අවසරය දුන්නේ ය.
මනාල යුවළ පෙරටු කොට ගත් නෑ පෙරහරින් අතුරු මග විසිතුරු විය.
නොසිතූ විරූ ලෙස මනාලයා ඉදිරියට කඩාපාත් වූයේ ආගන්තුක තරුණියකි. ඇගේ කුස මහත්ව තිබිණ.
‘අ‍නේ දෙයියනේ ඇයි මට ඔයා මෙහෙම අපරාධයක් කළේ? දිවෙන් දිව ගාගෙන නේද අපි හිටියේ ඇයි ඔයා මට මේ වගේ ගින්දරක් දුන්නෙ?’ ඇය අ‍ඳෝනාවක් නගමින් මනාලයා ඉදිරියේ සිය පපුවට ගසා ගන්නට වූවා ය.
මනාලයාගේ මුව ඇරිණ. මනාලිය ගේ දෑස මහත් විය.
‘ඇයි රත්තරනේ ඔයා මට මෙහෙම ගින්දරක් දුන්නේ?’ ගැබිනිය සිය කුස පාමින් හඬන්නට වූවා ය.
මනාලිය දෑතින් මුහුණ වසා ගත්තා ය. මනමාලයා කේන්තියෙන් වට පිට බැලුවේ ය.
එවිටම එහි කඩා වැදුණේ තලතුනා පිරිමියෙකි.
සරමක් හා මේස් බැනියමක් හැඳ සිටි හේ හඬන ගැබිනිය සනසන්නට වූයේ ය.
“අඬන්න එපා සුදු දුවේ! අම්මත් නැති උඹව අපි හදාගත‍්තෙ ඇහැක් වගේ. මේ ළමය ඇවිත් අහපුහම මං මුලින් ‘බෑ’ කියල පස්සෙ ‘හා’ කිව්වෙ උඹට තියන ආදරේ හින්දමයි. ඒත් මේ වගේ වින්නැහියක් වෙයි කියල අපි හීනෙකින්වත් හිතු‍වෙ නෑ. ඇයි පුතේ උඹ මෙහෙම කොළේ?’
තලතුනා පිරිමියා ද හඬමින් මනාලයා දෙස බැලුවේ ය.
මනාලිය ගේ පාර්ශ්වයේ ඥාතීන් ගේ මුහුණු වෙනස් වී ගියේ ය.
මනාලිය ද හඬන්නට වූවා ය.
මනාලයා නොඉවසිල්ලෙන් දාඩිය පිස ගත්තේ ය.
ගැබිනි තරුණිය ගේ සොහොයුරකු ලෙස දිස්වුණු අයෙක් ද එහි දිවැවිත් අසාධාරණයට එරෙහි ව හඬ නගන්නට වූයේ තත්වය තවත් බරපතළ කරවමිනි.
‘නවත්තපල්ල! නවත්තපල්ල! කවුද මේ මගෙ වැයික්කියෙ කෑකෝ ගාන්නෙ?’
 ආරච්චි කබායකින් සැරසුණු පුද්ගලයෙක් දඩිබිඩියේ එහි කඩා වැදුණේ ය.
හිසේ අං පනාවක් රැඳි ඔහුට ප්‍රතාපවත් උඩු රැවුලක් තිබිණ. තල් අත්තක් දෑතින් දරා ගත් ගෝලයෙක් ද ඔහු ගේ හිසට එය අල්ලමින් පසුපසින් ආයේ ය.

ආරච්චි නඩුව විසඳීමට පටන් ගත්තේ ය. මෙය ඇත්තක් නොව ඇත්තක් ලෙස පෙනෙන රඟපෑමක් බව කාටකාටත් වැටහෙන්නට වූයේ එවෙලේ ය.මනාලයාගේ කෝපය නිවී ගියේ ය.මනාලිය කඳුළු පිස දාගෙන සිනාසෙන්නට වූවා ය.දෙපාර්ශ්වයේ ඥාතීහු ද මේ අබග්ගයේ රසය ඉවසන්නට වූහ.

මේ වූ කලි මනාලයාගේ මිතුරන් පිරිසක් විසින් ජෝඩුවට රැග් කරනු පිණිස අටවන ලද උගුලක් බව පසුව කාටත් වැටහිණ.

No comments:

Post a Comment