Sunday, August 3, 2014

පූසා - Amda

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු. මේ දෙන්නගේ තනියට පූස් තඩියෙකුත් ඉන්නවලු. පූසා ගෙනාවේ වයිෆ් ලු බැඳලා එනකොට.
හස්බොන්ඩට මේකාව එච්චර දිරවන්නේ නෑ , හැම තැනම ජරා කරනවා, ඇඳට නගිනවා. පුටු උඩ නිදාගන්නවා කියලා. ඒත් මොකුත් කියන්න බෑ අලුත ගෙනා මනමාලිගේ හිත රිදෙයි කියලා.
කොහොම හරි මාස දෙක තුනක් ඉවසලා ඉවසලා, දවසක් වයිෆ්ට හොරෙන් මූවගෝනියක දාගෙන බයිසිකලේ එල්ලගෙන , එහා ටවුමේ මායිමටම අත ඇරලා ගෙදර ආවා.
මෙන්න බැලින්නම් පූසා මිනිහට කලින් ගෙදර ඇවිත් පුටුව උඩ සැපට දොයි.
පොරට හෙන මල. කරන්නම් වැඩක් කියලා ආයෙම දවසක මූව අරගෙන ගිහින් අත ඇරියාලු දිස්ත්රික්කේ මායිමටම ගිහින්. එදත් ගෙදර එද්දී පූසා ඇවිත්.
පොරත් අත ඇරියේ නෑ වැඩේ.. ආයේම දවසක මූවත් උස්සගෙන ගිහින් වෙන පළාතකට අත ඇරලා ආවා. පූසා ගෙදර ඇවිත් එදත් පොර එද්දී.
මේක හරියන්නේ නෑ කියල පොර දැම්මලු දවසක නිවාඩු. දාලා වයිෆ්ට කිව්වලු දුර ගමනක් යනවා, එන්න ටිකක් හවස් වෙයි කියලා. එහෙම කියලා උදේ පාන්දර පූස් තඩියවත් මල්ලක දාගෙන යන්න පිටත් උනාලු.
පොර දැන් හද්ද වන්නියේ, ගුරු පාරවල් දිගේ, එහෙට මෙහෙට හරව හරව යනවලු. ඔහොම ගිහින් ගිහින් ගණ කැලෑවක් ඇතුලේ පූසව අත ඇරලා ආපහු ගෙදර එන්න පිටත් උනාලු.
වයිෆ් පොර එනකම් රෑට කෑමත් නොකා දැන් ඉන්නවලු, කෝල් කරනවලු, ෆෝන් එක වැඩ නෑලු. හවස් එනවා කිව්ව මිනිහනේ මේ මහ රෑ වෙනකනුත් නැත්තේ.
ඔහොම වයිෆ් ඉද්දි, වයිෆ්ට පොරගෙන් කෝල් එකක ආවලු. පොර කියන ඒවා හරියට ඇහෙන්නෙත් නෑලු , සිග්නල් නැති තැනක ඉඳන් කෝල් කරනවා වගේ.
දෙන්නගේ දෙබස මෙහෙමයි.
වයිෆ්: කොහෙද මනුස්සයෝ ඉන්නේ, දැන් කීයද වෙලාව.ගෙදර එන්නේ නැද්ද?
පොර: මේ අර පූස ගෙදර ආවද?
වයිෆ්: පිස්සුද මනුස්සයෝ, ගෙදර එන්නේ නැතුව පූසා ගැන අහන්නේ මහ රෑ කෝල් කරලා.
පොර: මගෙන් ප්රශ්න අහන්නේ නැතුව මම අහපු දේට උත්තර දෙනවකෝ.
වයිෆ්: ආවා ආවා, උදේ ඉඳන් කොහේ හරි රවුමක් ගහලා පහ හය වෙද්දී ආවා. දැන් ඔය හොඳට කාලා සැටියට වෙලා ගුලි වෙලා ඉන්නේ. ඇයි මොකෝ?
පොර: එහෙමද. එහෙනම් ඔන්න ඔය පූස් තඩියව ඇහැරවලා ෆෝන් එක ඌට දෙනවා. මේක කට් වෙන්න කලින් මට ගෙදර එන්න පාර අහගන්න. මම මේ ගහක් උඩට නැගලා කෝල් එක ගන්නේ.

No comments:

Post a Comment